ගරු කථානායකතුමනි, පසුගිය මාසයේ පැවති 60වෙනි මානව හිමිකම් කවුන්සිල සැසිවාරය සහ එහි අවසානයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මතවූ යෝජනාව ගැන අදහස් කිහිපයක් ප්‍රකාශ කිරීමට මා අදහස් කරනවා.ප්‍රථමයෙන් මා කිව යුතුයි මෙය ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවලියක් සම්මත වූ පළමු අවස්ථාව නොවේ. 1980 දශකයේත්, 2009දී යුද්ධය අවසන් වූ පසුවත්, වර්තමාන මානව හිමිකම් කවුන්සිලය සහ එහි පැරණි ව්‍යුහය වූ මානව හිමිකම් කොමිසම මඟින් ශ්‍රී ලංකාවේ යුද්ධයට සම්බන්ධ සහ අනෙකුත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන යෝජනාවලි ගණනාවක් සම්මත වී තිබෙනවා. 2009 සිට පමණක් ගතහොත් මේ වන විට ශ්‍රී ලංකාව ගැන සම්මත වී තිබෙන යෝජනා ගණන 11ක්. 2009, 2012, 2013, 2014, 2015, 2017, 2019, 2021, 2022, 2024 සහ මෙවර සම්මත වූ යෝජනාවලිය. මෙම යෝජනා සඳහා ඒ ඒ කාලයන් වල සිටි රජයන් විවිධ ප්‍රතිපත්ති අනුගමනය කර තිබෙනවා. ඇතැම් විටෙක එම රජයන් එම යෝජනා වලට සහය පල කර ඒවායේ හවුල්කරුවන්ද වී තිබෙනවා (2015, 2017, 2019). තවත් අවස්ථා වල එවකට පැවති රජයන් යෝජනාවලිය සම්බන්ධයෙන් ඡන්ද විමසුම් වලට ගොස් තිබෙනවා. (2012, 2013, 2014, 2021, 2022). තවත් අවස්ථාවල ශ්‍රී ලංකා රජය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තමන් විසින්ම යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා (2009). තවත් අවස්ථාවල එවකට පැවති රජයන් ඡන්ද විමසුම් වලට නොගොස් යෝජනාවලියේ ඇති ඇතැම් පරිච්ඡේද වලට පමණක් විරෝධය පල කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම සියලුම යෝජනා වලින් ගම්‍ය වන පොදු කරුණු 2ක් තිබෙනවා. ඉන් පළමුවැන්න තමයි ජිනීවා වල සිදුවන මෙම ක්‍රියාදාමයට පාදක වන ජාතික ප්‍රශ්න මින් පෙර පැවති කිසිඳු රජයක් විසින් නිසි ලෙස කළමනාකරණය නොකිරීම. මෙම යෝජනාවලියන් අවුරුදු 16කට අධික කාලයක් තිස්සේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වන්නට ප්‍රධාන හේතුව එයයි. ලෝකයේ ඕනෑම රටක ඇතිවන යුධ ගැටුම් වලදී මානව හිමිකම් පිළිබඳ ගැටලු පැන නඟින බව අපි සියලු දෙනා දන්නවා. නමුත් එම බොහෝ රටවල් වල එම මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් තමන්ගේම දේශීය ආයතන මඟින් කටයුතු කර ඒවා විසඳ‍ා ගන්නවා, ජාතික සමගිය තව තවත් ප්‍රවර්ධනය කර ගන්නවා. එහෙත් අපේ රටේ පසුගිය රජයන් විසින් සිදු කළේ මොකක්ද? මානව හිමිකම් ගැටලු දේශීය වශයෙන් විසඳා, සමගිය ගොඩනගනවා වෙනුවට ඔවුන් කළේ ජ‍ාතිවාදී, වර්ගවාදී සහ ආගම්වාදී දේශපාලනයේ නිරත වෙමින් රට භේද බින්න කරමින් සියලුම ජාතීන් සහ ආගම් වල ජනතාවගේ අයිතීන් තව තවත් සීමා කරමින් සහ උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් පිළිනොගන්නා රටක් බවට පත්කිරීමයි. ජිනීවා යෝජනාවේ විකාශනය බැලුවොත් මෙය පැහැදිලි වෙනවා. 2009 දී ජිනීවා වල සම්මත වූ යෝජනාවේ ප්‍රධාන ඉල්ලීම වූයේ එවකට බලයේ සිටි ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වෙත පොරොන්දු වූ පරිදි සියලුම ජන කොටස් වල ගැටලු ආමන්ත්‍රණය කරන තිරසාර ජාතික විසඳුමක් ක්‍රියාත්මක කිරීමයි. නමුත් එය එසේ සිදු වුනාද? නැහැ. අවුරුදු 3ට පසුවත් එම ක්‍රියාවලිය සිදු නොවූ පසු, රටවල් කිහිපයක් එකතු වී ශ්‍රී ලංකාව පිළිබඳව තවත් යෝජනාවලියක් සම්මත කර ගත්තා

2012 දී. මෙම 2012 යෝජනාවේ ප්‍රධාන ඉල්ලීම වූයේ, එවකට පැවති රජය විසින්ම පත්කළ උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ (LLRC) නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසයි. නමුත් එම නිර්දේශ අදාළ රජය විසින් ක්‍රියාත්මක කළා ද? නැහැ. එසේ නොවූ තැන කවුන්සිලයේදී 2013දී යෝජනාවලියක් සම්මත වුනා LLRC නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස නැවතත් ඉල්ලමින් සහ සත්‍යය සහ ප්‍රතිසන්ධාන සඳහා වූ ජාතික කොමිසමක් හරහා ගැටලු නිරාකරණය කරගන්නා ලෙස ඉල්ලමින්. මේ දේවල් සිදු වුණාද? නැහැ. තමන්ම පත්කළ LLRC කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කර ජාතික සමඟිය ප්‍රවර්ධනය කරනවා වෙනුවට එවකට පැවති ආණ්ඩු සිදු කළේ, පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මෙම ජාතික ප්‍රශ්න සහ ජිනීවා ක්‍රියාවලිය පාවිච්චි කිරීමයි. මානව හිමිකම් භීතිකාවක් ඇති කර 2013දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ තමන්ගේ ඇමතිවරුන් මඟින් මහ කොමසාරිස්තුමියට විවාහ යෝජනා සිදු කිරීම බව ඔබට මතක ඇති.

දිගින් දිගටම ජනතාවගේ ප්‍රශ්න මේ විදියට දේශපාලන පාපන්දුවක් බවට පත් කරගනිමින් මෙම රජයන් විසින් ජාත්‍යන්තරව ශ්‍රී ලංකාව වෙත ඇති විශ්වසනීයත්වය නැතිකර ගැනීමේ ප්‍රතිඵලය කුමක්ද? ශ්‍රී ලංකාවට තමාගේම ජාතික ආයතන මඟින් මානව හිමිකම් ගැටලු විසඳා ගැනීමට නොහැකිය යන මතය ඇති වීම. මේ නිසා 2021 වන විට මානව හිමිකම් කොමසාරිස්වරයාගේ කාර්යාලය විසින්  ශ්‍රී ලංකා‍වේ සිදුවූයේ යැයි කියන උල්ලංඝනයන් සම්බන්ධයෙන් සාක්ෂි එකතු කිරීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවනවා. අපේ කියමනක් තියනවා නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරවෙන් කපනකන් ඉන්න එපා කියලා. ඒ වගේ තමයි මේ ප්‍රශ්නය. යුද්ධය අවසන් වූ වහාම ජාතික ක්‍රමවේදයක් මඟින් ලේසියෙන් විසඳාගත හැකිව තිබූ මෙම ජිනීවා ප්‍රශ්නය පටු දේශපාලනික අරමුණු සහ අදූරදර්ශී නායකත්වය නිසා 2021 වන විට ජාත්‍යන්තරීකරණය වෙලා අවසන්. 2024 සැප්තැම්බර් මාසයේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා  සහ 2024 ඔක්තෝම්බර් මාසයේදී අපේ රජය රට භාර ගන්නා විට මෙම පරිහානිය සිදුවී අවසන්. දිළිඳුකම තුරන් කිරීම, දූෂණය පිටුදැකීම සහ එකමුතු රටක් ගොඩනැංවීම සඳහා පසුගිය වසරේ මේ රටේ සියලුම ප්‍රදේශ වල සහ සියලුම ජාතීන් හා ආගම් වලට අයත් ජනතාව විශාල ජනවරමක් අපට ලබා දුන්නා. මේ ජනවරම ක්‍රියාත්මක කරමින්, සියලුම ජනකොටස් වලට අයත් අපගේ ජනතාවගේ අයිතීන් තහවුරු කරමින්, මෙතෙක් ජාත්‍යන්තරීකරණය වී ඇති මානව හිමිකම් ක්‍රියාවලිය ජාතික තලයට කෙසේ හෝ රැගෙනවිත් ශක්තිමත් සහ ස්වාධීන දේශීය ආයතන මඟින් ප්‍රශ්න විසඳීමයි අපේ අරමුණ. ඒ සඳහා වැදගත් පියවර කිහිපයක්ම අපි දැනටමත් අරගෙන තිබෙනවා.

දෙවැනි කාරණය තමයි මානව හිමිකම් කවුන්සිලයේ පවතින ව්‍යුහය සහ සංයුතියට අනුව ශ්‍රී ලංකාව වැනි රටකට ඡන්දයක් ජයග්‍රහණය කිරීමට ඇති අභියෝගය. නිව්යෝර්ක් වල තිබෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සෑම ස්වෛරී රාජ්‍යකටම එක් ඡන්දයක් හිමිවෙනවා. නමුත් ජිනීවාවල තිබෙන මානව හිමිකම් කවුන්සිලයේ එසේ නොවේ. 193ක් වන එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් අතරින් මෙම කවුන්සිලයේ එක් වරකට සාමාජිකයන් විය හැක්කේ රටවල් 47කට අවුරුදු 03ක කාලයක් සඳහා පමණයි. එම සාමාජිකත්වය ලැබෙන්නේත් කලාපීය පදනම මත – ආසියා පැසිපික්(13ක්), අප්‍රිකා(13ක්), ලතින් ඇමෙරිකා(8ක්), බටහිර යුරෝපා(7ක්) සහ නැගෙනහිර යුරෝපා(6ක්) වශයෙන්. සමහර කලාපීය කණ්ඩායම්, උදාහරණයක් වශයෙන් යුරෝපය, සාමූහික වශයෙන් එක් මතයක සිටින බැවින්, මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන යෝජනාවක් පරාජයට පත්වීම ඉතා විරලයි. ශ්‍රී ලංකාව පැත්තෙන් බැලුවහොත්, අපේ රට සම්බන්ධ යෝජනාවක් ජයග්‍රහණය කළේ එක් අවස්ථාවක පමණයි. ඒ 2009 වසරේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අපේ රජයම ගෙන ආ යෝජනාවලිය. ඉන්පසු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්

වූ සියලු යෝජනා ඡන්ද විමසුම් වලට යොමු කළ අවස්ථාවල රජයේ මතය පරාජය වුණා. ඒ වගේම, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ලැබෙන කුඩා ඡන්ද ප්‍රමාණයද ක්‍රමක්‍රමයෙන් අඩුවී තිබෙන අතර ස්ථාවරයක් නොගන්නා රටවල් ගණන වැඩීවීමක් සිදුවී ඇති බව පෙනෙනවා. 2012දී අපි වෙනුවෙන් ලැබුණේ ඡන්ද 47න් 15යි.(24-15-8). 2013දී ඡන්ද 13යි (25-13-8). 2014දී ඡන්ද 12යි (23-12-12). 2021දී ඡන්ද 11යි (22-11-14). 2022දී ඡන්ද 7යි (20-20-7). නමුත් විමතියට කරුණ වන්නේ එවකට සිටි රජයන් පරාජය වන බව දැන දැනත් මෙම ඡන්ද ව්‍යාපාර සඳහා මහජන මුදල් මිලියන ගණන් වැය කිරීමයි. මැති ඇමතිවරු සහ නිලධාරීන් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් වල සංචාරය කළා. එම ඡන්ද ලබා ගැනීමට අදාළ රටවලට විවිධාකාරයෙන් උදව් පදව් කළා. ජිනීවා‍ වල සැසිය පැවැත්වෙන දින වලට විශාල මැති ඇමති සහ නිලධාරී කණ්ඩායම් දවස් ගණන් ස්විට්සර්ලන්තයේ සිටිමින් කාලය සහ මහජන මුදල් වැය කළා.

මේ සියල්ල ඔවුන් කළේ ඡන්දය පරාජය වනවා කියන යථාර්තය දැන දැනම හුදු මාධ්‍ය සංදර්ශන මඟින් රටේ ජනතාව නොමඟ යැවීමට පමණයි.

මෙයටත් වඩා ලොකුම ගැටළුව වන්නේ ඡන්දයක් ඉල්ලමින් අපි ගැටුම්කාරී ආකල්පයකින් කටයුතු කිරීමෙන් සිදුවන්නේ දැනට ජාත්‍යන්තරීකරනය වී ඇති මෙම ප්‍රශ්නය දේශීය තලයට ගෙනවිත් විසදීමේ අවකාශය අහුරා දැමීමයි.

ගරු කථානායකතුමනි,

දැන් මම කැමතියි මෙවර ජිනිවා වල පැවති 60වන මානව හිමිකම් සැසිවාරය වෙත යොමු වෙන්න. 2024 ඔක්තෝම්බර් මාසයේ අපගේ රජය පිහිටුවීමෙන් පසුව මෙම වසරේ මාර්තු මාසයේ පැවැත් වූ මානව හිමිකම් කවුන්සිල සැසිය මම ඇමතුවා. සියළු ශ්‍රී ලාංකිකයන්ගේ ආර්ථීක, සහ දේශපාලනික අයිතීන් රකිමින්, වර්ගවාදී ආගම්වාදී දේශපාලනය ප්‍රතික්ෂේප කරමින්, ජාතික සමගිය හා සංහිදියාව ගොඩ නැඟීම සඳහා අපේම ජාතික යාන්ත්‍රණයන් මඟින් ගන්නා පියවර පිළිබඳව කවුන්සිලයේ රටවල් මා දැනුවත් කලා. ඉන්පසු මෙම වසරේ ජූනි මාසයේදී මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුණා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයෙක් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණියේ අවුරුදු 9කට පසුවයි. ඒ වගේම අපි රජය භාරගෙන අවුරුද්දක්වත් යන්නට පෙරයි රජයේ ආරාධනයට ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේ. මෙම සංචාරය අතරතුරදී ජනාධිපතිතුමා හා රජය, ආගමික නායකයන්, මහජනතාව, සිවිල් සමාජය, දේශපාලන පක්ෂ ඇතුළු සමාජ කොට්ඨාස ගණනාවක් සමඟ ඔහු විවෘතව සාකච්ඡා කලා. ශ්‍රි ලංකාවේ සැබෑ තත්ත්වය පිළිබඳව ඔහු සියැසින්ම දැක ගත්තා. මෙම සංචාරයෙන් අනතුරුව මහ කොමසාරිස්තුමා ශ්‍රී ලංකාව පිළිබඳව ඉතා ධනාත්මක නිරීක්ෂණ සිදු කළා. ප්‍රගතශිලී වෙනසක් පිළිබඳව ශ්‍රී ලංකා සමාජය පුරා ඇති ප්‍රවණතාවය, ගැටළු විසඳීම සඳහා ශ්‍රී ලංකා රජයේ ඇති අව්‍යාජ විවෘතභාවය සහ දේශීය ක්‍රමවේදයන් මඟින් ගැටළු විසඳා ගැනීමට ශ්‍රී ලංකාව ගෙන ඇති ආරම්භය ඔහු පැසසුමට ලක් කලා. පසුගිය සැප්තැම්බර් මාසයේ මහ කොමසාරිස්වරයා කවුන්සිලයේ 60වන සැසිවාරයට ඉදිරිපත් කළ වාර්තාවේද මෙම ධනාත්මක අදහස් ඔහු ප්‍රකාශ කර තිබුණා. ශක්තිමත් දේශීය යාන්ත්‍රණ මඟින් මානව හිමිකම් ගැටළු විසඳා ගැනිමට මෙම ඓතිහාසික අවස්ථාව භාවිතා කරන මෙන් ඔහු ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියා. මෙම වාර්තාව සහ ශ්‍රී ලංකා රජය විසින් එයට සපයන ලද පිළිතුර මා සභාගත කරනවා. ඒවා පරිශීලනය කරන ලෙස මම ඔබට ආරාධනා කරනවා. ජිනීවා යෝජනාවලිය සම්මතවීමට පෙර නිව්යෝර්ක්වල පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුරදී ද මානව හිමිකම් කොමසාරිස්වරයා ගරු ජනාධිපතිතුමා සහ මා මුණගැසී සාධනීය සාකච්ඡා සිදු කලා.

ගරු කථානායකතුමනි, මා කළින් පැවසූ පරිදි, ජාතික ගැටළු සහ ජනතාවගේ මානව හිමිකම්, දේශපාලන අවස්ථාවාදී අරමුණූවලට අවුරුදු ගණනාවක් තිස්සේ යට කිරීම හේතුවෙන්, 2021 වනවිට ශ්‍රී ලංකාව සම්බන්ධ ජිනීවා යෝජනාවලිය ජාත්‍යන්තරීකරණය වෙලා තිබුණා. 2021 සම්මත වූ 46/1 යෝජනාවලිය මඟින් ශ්‍රී ලංකාවේ සිදුවූවායැයි කියන උල්ලංඝනයන් සම්බන්ධයෙන් සාක්ෂි එකතු කිරීමට මහ කොමසාරිස් කාර්යාලයේ Sri Lanka Accountability Project නමින් අංශයක් පිහිටුවනු ලැබුවා. දේශීය නොවන මෙවැනි යාන්ත්‍රණ ශ්‍රී ලංකාව පිළිනොගන්නා බව මාර්තු මාසයේදීත්, සැප්තැම්බර් මාසයේදීත් විදේශ ඇමති වශයෙන් මම සහ අපගේ ජිනීවා නිත්‍ය නියෝජිතවරිය ඉතා පැහැදිලිව කවුන්සිලයේ ප්‍රකාශ කළා. එසේ ජාත්‍යන්තර යාන්ත්‍රණ ප්‍රතික්ෂේප කරන අතරතුර අපගේ ප්‍රයත්නය වන්නේ දේශපාලනීකරණය නිසා ජාත්‍යන්තරීකරණයට ලක්වූ මෙම ගැටළු අපේම රටේ ස්වාධීන ක්‍රියාවලි සහ ආයතන මඟින් විසඳා ගැනීම සඳහා සියළු දෙනාගේ සහය ලබා ගැනීමයි. මෙය අවුරුද්දක් වැනි කෙටි කාලයකින් නිමා කල හැකි කාර්යයක් නොවේ. නමුත් ඒ සඳහා අඩිතාලම අපි දමමින් සිටිනවා. ඒ සඳහා අපගේ ඇති කැපවීම මානව හිමිකම් කවුන්සිලයත් පිළිගෙන තිබෙනවා. මානව හිමිකම් වලට වැදගත් වන, නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අපගේ අධිකරණ පද්ධතිය අපි ශක්තිමත් හා ස්වාධීන කරමින් සිටිනවා. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය, හානිපූරණය පිළිබඳ කාර්යාලය, ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාලය, ස්වාධීන හා ශක්තිමත් කරමින් පවතිනවා. රටේ හදිසි අවස්ථාවන් සඳහා පමණක් සම්මත කර ගත්තත් යුද්ධය නිමාවී අවු.16කින් පසුවත් ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) අහෝසි කර ජාත්‍යන්තරව පිළිගත් සම්මුතීන්වලට අනුකූලව  මානව හිමිකම් සුරකිමින් ත්‍රස්තවාදය මැඩපවත්වන පනතක් අපි ළඟදීම ගෙන එනවා. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනතට මානව හිමිකම් සුරකින සංශෝධන ගෙන ඒමට අපි අපේක්ෂා කරනවා.

ගරු කථානායකතුමනි, 2009දී යුද්ධය නිම වූ වහාම ජනතා විමුක්ති පෙරමුණ වශයෙන් අපි යෝජනා කලා ඒ හා සම්බන්ධ මානව හිමිකම් ගැටළු සම්බන්ධයෙන් සත්‍ය හා ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසමක් ස්ථාපනය කරන ලෙස. මෙම ජාතික කොමිසම පිහිටුවා එහි නිර්දේශ ක්‍රියාත්මක කලා නම් අද ජිනීවා යෝජනාවලියක් නැහැ. ඔබ හෝ මම ඒ ගැන විවාද පවත්වන්නේත් නැහැ. අවුරුදු 16කට පසු අප බලයට පැමිණෙන මොහොතේත් එය සිදුවී තිබුණේ නැහැ. ඒ නිසා ළඟදීම සත්‍ය හා ප්‍රතිසන්ධානය පිළිබඳ පනත මෙම පාර්ලිමේන්තුවේ සම්මත කර එම කොමිසමේ කටයුතු ආරම්භ කිරීමට ඉඩ සලසා දීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒවගේම ස්වාධීන මහජන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමට රජය බලාපොරොත්තු වෙනවා. මෙම ප්‍රගතිශීලී පියවර අපි ගන්නේ ජිනීවාවලට පෙන්වීම සඳහා නොවේ. වසර ගණනාවක් තිස්සේ රාජ්‍ය මර්ධනයට සහ මානව හිමිකම් උල්ලංඝනවලට ලක්වූ දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපට මානව හිමිකම් පිළිබඳ ඇති සැබෑ කැපවීම සහ සියළුම ජනකොටස්වල වින්දිතයන් වෙනුවෙන් ඇති සැබෑ සහකම්පනය නිසායි.

තවද අප මෙම පියවර ගන්නේ යුද්ධය නිමා කළ හමුදා නිලධාරීන් හෝ වෙනත් කිසිඳු ජන කොට්ටාශයක් ඉලක්ක කිරීමට නොවන බව පැහැදිලිව ප්‍රකාශ කිරීමට කැමතියි. අපේ රටේ ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම, නීතියේ ආධිපත්‍යය සහතික කිරීම, සමගිය

ගොඩනැගීම සහ නැවත බිහිසුණු ගැටුම් ඇතිවීම වලක්වා ගැනීම ඔබ අප සැමගේම වගකීමක්. මෙය අපට තනියෙන් ළඟාකර ගත හැකි අරමුණක් නොවෙයි.

මම දැක්කා සමහර මාධ්‍යවල පලවෙලා තිබුණා පසුගිය 06වෙනිදා ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව මානව හිමිකම් කවුන්සිලයේ ඡන්දයකින් තොරව සම්මත වුණා කියලා. මගේ කතාවේ මුලදීම පැහැදිලි කළ පරිදි මානව හිමිකම් කවුන්සිලයේ ඡන්දයක් ඉල්ලා සිටිම ගැටළුකාරී තත්වයක්. පසුගිය රජයන් මහජන මුදල්  හා කාලය අවභාවිතා කරමින් ඡන්දය පරාජය වන බව දැන දැනම සිදුකළ නිශ්ඵල, මහජන විරෝධී සංදර්ශණ වල යෙදීම අපගේ  රජයේ ප්‍රතිපත්තිය නොවෙයි. ඔක්තෝම්බර් 06 වෙනිදා මෙම යෝජනාවලිය ඉදිරිපත් කල අවස්ථාවේදී අපගේ නිත්‍ය නියෝජිතවරිය යෝජනාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය පැහැදිලිව ඉදිරිපත් කළා. 

සැප්තම්බර් 8 වෙනිදා ශ්‍රී ලංකාව පිලිබද සන්වාදයේදී මා විසින් කල කතාව සහ ඔක්තොබර් 6 වෙනිදා ජිනීවා නිත්‍ය නියෝජිතවරිය යෝජනාවලිය ගැන සිදු කල ප්‍රකාශය මම සහාගත කරනවා

06 වෙනිදා ඉදිරිපත් කළ යෝජනාවලියේ මීට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවලියන් සමඟ සසඳන විට ධනාත්මක ලක්ෂණ ගණනාවක් තිබුණා. ශ්‍රි ලංකාවේ සිදු වී ඇති ප්‍රජාතන්ත්‍රවාදී  පරිවර්තනය, ආර්ථික අර්බුදය විසඳාගැනීමට ගෙන ඇති පියවර, දූෂණය පිටුදැකීම හා මානව හිමිකම් සුරැකීම මෙන්ම සංහිදියාව සඳහා ආරම්භ කර ඇති ජාතික වැඩපිලිවෙළ එහි ප්‍රශංසාවට ලක්කර තිබෙනවා. දේශීය ආයතන මඟින් ගැටළු විසඳාගැනීමට එහි අවකාශය ලබා දී තිබෙනවා. ඒ වගේම මෙම යෝජනාව 2021 යෝජනාවේ දිගුවක් වන නිසා එහි අවසන් පරිච්ඡේදය මඟින් Sri Lanka Accountability Project එකේ කාර්යය පවත්වාගෙන යාමට අනුමැතිය ලැබී තිබෙනවා. මා කලින් සඳහන් කළ ආකාරයට මෙම Accountability Project එක දේශීය යාන්ත්‍රණයක් නොවන බැවින් අපේ රජය එය ප්‍රතික්ෂේප කරනවා. මේ බව ඉතා තදින් අපි 06 වෙනිදා මෙම යෝජනාව සාකච්ඡා කරන අවස්ථාවේදී කළ ප්‍රකාශයෙන් අවධාරණය කළා. එමඟින් සිදුවන්නේ බෙදීම් තීව්‍ර වීම සහ රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙලවල් අඩාල වීම බව අපි පෙන්වා දුන්නා. රජය ආරම්භ කර තිබෙන දේශීය  වැඩපිළිවෙල සහ ඒ සඳහා මානව හිමිකම් කවුන්සිලයේ රටවල්වල ඇති වෙමින් තිබෙන විශ්වාසනීයත්වය පදනම් කරගෙන, 2021 ස්ථාපිත කළ මෙම Accountability Project එක අවසන් කර අපේ ප්‍රශ්ණ අපටම විසඳාගත හැකි තත්ත්වයක් නුදුරේදීම ඇති කර ගත හැකි බව අපි තරයේ විශ්වාස කරනවා.06 වෙනිදා සාකච්ඡාවේදී යෝජනාව ඉදිරිපත් කල රටවල් කණ්ඩායම වෙනුවෙන් අදහස් දැක්වූ එක්සත් රාජධානිය සිදුකල ප්‍රකාශයෙන්ද රජය විසින් අත්කරගෙන තිබෙන දැවැන්ත ප්‍රගතිය පිළිබඳව ප්‍රශංසාවට ලක්කිරීමෙන් මෙය පැහැදිලි වෙනවා. එම කණ්ඩායමට අමතරව ලෝකයේ විවිධ කලාප නියෝජනය කරමින් චීනය, බංගලාදේශය,මාලදිවයින, කියුබාව,ජපානය,දකුණු කොරියාව, යුරෝපා සංගමය, ඉතියෝපියාව, කොස්ටරිකා රාජ්‍යය ඇතුළු කවුන්සිලයේ සාමාජිකත්වය දරන රටවල් ගණනාවක් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ප්‍රගතිය පසසමින් ප්‍රකාශ සිදු කළා. තවද, සැප්තැම්බර් 08 වෙනිදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවැත්වූ සංවාදයේදී රටවල් 43ක් පමණ අදහස් ප්‍රකාශ කළ අතර ඔවුන් සියල්ලන්ම පාහේ දේශීය ක්‍රියාවලි තුළින් රජය ගෙන ඇති  පියවර අගය කළා. අපේ රජයේ අරමුණ වන්නේ අපේම ජනතාවගේ මානව හිමිකම් දේශපාලනීකරණය කරමින් ජිනීවා යක්ෂයෙක් හෝ ජිනීවා දෙවියෙක් මවා පාමින් පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීම නොවේ.

ගරු කථානායකතුමනි, අපේම ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම අපි මෙම ගරු සභාවේ විවාදයට ලක් කල යුතු දෙයක් නොවේ. එම අයිතීන් සුරක්ෂිත කිරීම, මහජන නියෝජිතයන් වන අපගේ පරම යුතුකම හා වගකීමයි. එයට ඔබ සියළු දෙනා එකඟවනු ඇතැයි මම සිතනවා. ගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කර ඇති ආකාරයට සියළුම ශ්‍රී ලාංකිකයන් එකමුතුව නිදහසේ ජීවත්වන සාමකාමී සෞභාග්‍යමත් රටක් පිළිබඳ අපට සිහිනයක් තිබෙනවා. සියළුම පාර්ශවකරුවන් සහ ජාත්‍යන්තර ප්‍රජාවද සමඟ සාධනීය ලෙස ගණුදෙනු කරමින් අපගේ අනාගත පරපුර වෙනුවෙන් මෙම සිහිනය යථාර්තයක් කර ගැනීමේ ගමන යාමට අපි කැපවී සිටිනවා. මෙම ජාතික ප්‍රයත්නය සඳහා සහයෝගය ලබාදීම අප සැමදෙනාගේ වගකීමක් බව සිහිපත් කරමින් මෙම කථාව අවසන් කරනවා.

*****

Leave a Reply

Your email address will not be published. Required fields are marked *